Wednesday, November 26, 2014

සීතාවක රාජසිංහ පීතෘ ඝාතකයෙක්ද ?


පීතෘ ඝාතක රජවරු බොහොමයක් පිළිබද  තොරතුරු  ඉන්දියානු ඉතිහාසය තුළින් දිස් වුවත් දෙදහස් පන්සිය වසරක අඛන්ඩ ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ එවැනි රජවරුන් ගැන අසන්නට ලැබෙන්නේ අවස්ථා දෙකක දී පමණි.නමුදු එයින් එක් පුවතක් සත්‍යය වුව ද අනෙක ඉතිහාසයට එක් වූ ජන ප්‍රබන්ධයක් යැයි කීමට තරම් තොරතුරු හමුවේ.
                                ක්‍රි : ව 5 වන සියවසයේදී ධාතුසේන රජතුමා මරණයට පත් කර  කාශ්‍යප කුමාරයා රාජ්‍යය පැහැර ගත් පුවත පිළිබද වාදයක් නැත. මූලාශ්‍රවල ද පරස්පරතාවක් දක්නට නැත. නමුත් සිය පියා මරා  රාජ්‍යය  පැහැර ගෙන පසුව එම පාපයෙන් මිදීමට මගක් සෙවු සීතාවක පළමු රාජසිංහ, එයට පිළියමක් නැතැයි භික්ෂුන් පැවසු පසු කෝපයට පත් වී භික්ෂුන් මරා වෙහෙර විහාර විනාශ කොට සිව සමය වැළද ගත් බව මහාවංශයේ 92 පරිච්ඡේදය කරන වාර්තාව හා සමකාලීන සෙසු මූලාශ්‍ර  අතර විශාල පරස්පරතා දක්නට ලැ‍බේ.
සමකාලීන වැදගත් මූලාශ්‍රයක් වන  රාජාවලිය පීතෘ ඝාතක කතාවක ඡායා මාත්‍රයකුදු සදහන් නොකරයි. එය රාජසිංහගේ රාජ්‍යත්වය හා මායාදුන්නේගේ මරණය පිළිබද සදහන් කරන්නේ “මායාදුන්නේ හැත්තෑවක් අවුරුදු රාජ්‍ය කර ඉකුත් වූවාහ....”  යනුවෙනි.මෙයින් පැහැදිලි වන්නේ මායාදුන්නේ ස්වභාවිකව මරණයට පත් වූ බවයි. පෘතුගීසි ලේඛකයන් දෙදෙනෙක් වන රිබෙයිරෝ හා ක්වේරෝස් ද  මායාදුන්නේ ස්වභාවිකව මරණයට පත් වූ බව දක්වයි.
ද කූටෝ නම් ලේඛකයා රාජසිංහ සිය පියා මැරූ බව කියතත් ස්පිල්බර්ජන් නම් ලන්දේසි ජාතිකයා සදහන් කරන්නේ මේ කතාව ප්‍රචලිත වී තිබුණේ මහනුවර රාජධානියේ පමණක් බවයි. ( පමණක් යන්න පිළිබද පසුවට විස්තර වේ) තවත් වැදගත් මූලාශ්‍රයක් වන අලකේශ්වර යුද්ධය  නම් කෘතියේ ද රාජසිංහ පීතෘ ඝාතකයෙක් කර නැත. එහෙත් තවත් වැදගත් ම කෘතියක් වන  මන්දාරම්පුර පුවත වරෙක  පිතෘ ඝාතක කතාව රසවත් ව ඉදිරිපත් කරන අතර තවත් වරෙක එය එසේ නොවන බවට තොරතුරු ඉදිරිපත් කරයි.
මූලාශවල ඇති මේ පරස්පරතා නිසා සීතාවක පළමු රාජසිංහට ඉතිහාසයේ හිමි විය යුතු නියම ස්ථානය අහිමි වි ඇති බවක් පෙනේ. මායාදුන්නේ මිය ගියේ  කි:ව 1581 දී ය. එහෙත් ඊට පෙර රාජ්‍ය පාලන කටයුතු රාජසිංහට පවරා තිබු බව  පිළිගැනීමට සාධක තිබේ. 1581 දී කොළඹ කොටුව වැටලීමේ මහා සංග්‍රාමයේ  යෙදී  සිටිය දී පියාගේ මරණය පිළිබද අසා කොටුව අත්පත් කර ගැනීමේ ප්‍රයත්නය අතරමග නවතා දමා ආපසු සීතාවක බලා යාමට රාජසිංහට සිදු වූබව ක්වේරෝස් සදහන් කරයි. එසේ ම මායාදුන්නේ අවුරුදු 85 ක් ආයු වළදා ස්වභාවිකව මරණයට පත් වූ බවත් ඔහු එවැනි දීර්ඝ කාලයක් ජිවත් වූයේ අපට(පෘතුගීසින්ට) වධ දීමට බවත්  සදහන් කිරිමෙන් පෙනී යන්නේ මායාදුන්නේගේ මරණයට රාජසිංහ කොහෙත් ම සම්බන්ධ නැති බවයි. ක්වේරෝස් පෘතුගීසින්ට පක්ෂපාතිව තොරතුරු ඉදිරිපත් කර ඇති බව නොරහසකි. එවැනි තත්ත්වයක් යටතේ රාජසිංහ නිදොස් කිරිමට ඔහුට උවමනාවක් තිබිය නොහැකිය. මේ අනුව රාජසිංහ පීතෘ ඝාතකයෙකු වූයේ වෙනත් හේතුවක් නිසා බව පිළිගැනීමට සිදුවේ.
                     එම හේතුව අන් කිසිවක් නොව තමන් අතින් සිදු වු වරදක් වසා ගැනීමට සමකාලීන භික්ෂූන් වහන්සේලා දැරූ උත්සහයකි. රාජලෝභය නිසා පියා මැරවීය යැයි මුලින් සදහන් කරන  මන්දාරම්පුර පුවතේ තවත් තැනක මේ සැගවුන පුවත විස්තර කර ඇත. එය මෙසේ ය. 1580 දී කෝට්ටේ ධර්මපාල තෑගි ඔප්පුවක් මගින් කෝට්ටේ රාජධානියේ උරුමය පෘතුගීන්ට පවරා දෙයි.එම වසරේ ම සීතාවක රාජසිංහ (මේ වන විට මායාදුන්නේ මිය ගොස් නැත)උඩරට ආකමණය කොට එහි පාලකයා වූ කරලියද්දේ බණ්ඩාර (කුසුමාසන දේවියගේ පියා) මරා උඩරට රාජධානිය තම අණසක යටතට ගනී.පසුව වීරසුන්දර බණ්ඩාර නම් කුමාරයෙකු එහි පාලකයා ලෙස පත්කර රාජසිංහ යළි සීතාවකට පැමිණියේ කොළඹ කොටුව අල්ලා  ගැනීමේ අදහසිනි. වීරසුන්දර බණ්ඩාර මුල දී  රාජසිංහට පක්ෂපාතිව කටයුතු කළ නමුත් පසුව ස්වාධීනව නැගී සිටිමට උත්සහ කළේ ය. මෙයින් කුපිත වූ  රාජසිංහ, බොරු වලක දමා අභිරහස් ලෙස වීරසුන්දර බණ්ඩාර මරණයට පත් කළේ ය. මෙයින් බියට පත් ඔහුගේ පුත් කොනප්පු බණ්ඩාර පෘතුගීසින් වෙත පලා යාමට සැරසෙන බව  දැනගත් රාජසිංහ ඔහු අල්ලා ගැනීමට පියවර ගනී.එහෙත් උඩරට භික්ෂූන් වහන්සේලා රහසිගතව කොනප්පු බණ්ඩාරට උදව් කරයි. එහි දි කොනප්පු බණ්ඩාර හා සමාන රූ ඇති රෝගි පුද්ගලයෙකු කොනප්පු බණ්ඩාර යැයි හගවා රාජසිංහ වෙත යවා නියම කොනප්පු බණ්ඩාරට පෘතුගීසින් වෙත පලා යාමට  ඉඩ සැලසීය.එහෙත් පසුව සත්‍යය හෙළිවීමෙන් කෝපයට පත් රාජසිංහ කොනප්පු බණ්ඩාරට උදව් කළ භික්ෂුන් වහන්සේලා හැටක් පමණ මරණයට පත්කළ බවත් වෙහෙර විහාර රාශියක් විනාශ කළ බවත් මන්දාරම්පුර පුවත සදහන් කරයි.
            එවිට නිරිදු ඔහු මුර කරවා                     එදින
            හැට ඈදුතු ඔන්ඩුවක්සගුන්                මරමින
            සියලු වෙහෙර ගිනිලා                    කරවමින
            පලිගන්නට එකුමරු හික්මවූ               බැවින   (පද්‍ය 71)

            පෘතුගීන් පලවා හැර රට එක්සේසත් කිරිමේ අරගලයක යෙදි සිටි සීතාවක රාජසිංහට උදව් නොකොට උඩරට ස්වාධින පාලනයක පැවැත්ම අපේක්ෂා කළ උඩරට භික්ෂුන්  තමන් කළේ දෝහි ක්‍රියාවක් යැයි  ජනතාව අතර ඒත්තු ගැනීම වැළැක්වීමට රාජසිංහ පීතෘ ඝාතකයෙකු කර සිව සමය ගත් බව ප්‍රචාරය කර ඇති බව සිතීමට පුළුවන. මේ කතාව උඩරට පමණක් පචාරය වී තිබුණා යැයි ස්පිල්බර්ජන් කරන විස්තරයෙන් ඒ බව තවදුරටත් සනාථ වේ.
අවු 85 ක් තරම් මහළු වියේ සිටි පියා මරා රාජ්‍ය පැහැර ගැනීමට තරම් හේතුවක් රාජසිංහට නොවී ය. 1560 දී තරම් කාලයේ සිට පිය පුතු දෙදෙනා එක්ව පෘතුගීසීන්ට එරෙහිව සටන් කළ බව සමකාලීන බොහෝ මූලාශ්‍රවල සදහන් වේ. මේ අතර පෘතුගීසින්‍ වෙත පලා ගිය කොනප්පු බණ්ඩාර ක්‍රිස්තු ලබ්ධිය ගෙන පෘතුගීසින්ට පක්ෂපාති බව ප්‍රකාශ කළේ ය. උඩරට කුමාරයෙකුට එහි රාජය බලය ලබා දෙන මුවාවෙන් පෘතුගීසින් 1590 දී උඩරට ආක්‍රමණය කළේ ය. එහි දී පෘතුගීසින්ට උදව් කරන මුවාවෙන් ඔවුන් සමග උඩරටට ගිය කොනප්පු බණ්ඩාර  උඩරට ප්‍රභූන් සමග රහසිගතව ඇති කරගෙන තිබු එකගතාව මත පෘතුගීසින් උඩරටට පය ගැසු සැණින් එහි ජනතාව සමග එකතු වී  පෘතුගීසින්ට පහර දී ඔවුන් පලවා හැර  පළමු වන විමලධර්මසූරිය නමින් උඩරට පාලකයා
බවට පත් විය. 1593 දී, උඩරටට නියම උරුමය ඇත්තේ දෝන කතිරිනාට (කුසුමාසන දේවිය) බවත් ඇයට රාජ්‍යය ලබා දෙන බව හගවා යළිත් වරක් උඩරට ආකමණය කළේ ය. එයට සාර්,ක පතිපහාරයක් එල්ල කළ විමලධර්මසූරිය පෘතුගීසින් පලවා හැර  කුසුමාසන දේවිය ලබා ගෙන ඇය සිය අග මෙහෙසිය බවට පත්කර ගත්තේ ය. ඒ සමගම ඔහුට තිබු රාජ්‍ය උරුමය පිළිබද ගැටළුව ද අහවර විය.
කොනප්පු බණ්ඩාර උඩරට පාලකයා වීම. සීතාවක රාජසිංහට පබල අභියෝගයක් විය. මේ නිසා වැඩිකල් නොගොස් ම උඩරට බලව බිද දැමිය යුතු යැයි කල්පනා කරන රාජසිංහ 1593 දී ම උඩරට ආකමණය කළේ ය.එහෙත් විමලධර්මසූරිය අතින් එල්ල වූ පතිපහාර හමුවේ නොසිතු ආකාරයේ පරාජයකට මුහුණ දීමට සිදු වූ අතර හේ පරාජය වී පලායන අවස්ථාවේ  පෙතංගොඩ නම් ස්ථානයේ දී උණ කටුවක් ඇණී තදබල ලෙස රෝගාතුර වී එම වසරේ දීම මරණයට පත්විය.
   සීතාවක රාජසිංහ මිය යාමට පෙර භික්ෂූන් කමා කරවාගෙන බුදු දහමට අනුග්‍රහය දැක්වූ බව මන්දාරම්පුර පුවත සදහන් කරයි. රාජසිංහ විසින් මරා දැමුවේ  සිය පියා වූ  මායාදුන්නේ නොව කොනප්පු බණ්ඩාර හෙවත් උඩරට පථම ස්වාධීන පාලකයා වූ විමලධර්මසූරියගේ පියා ය.  සමහර විට මහවංස කතුවරයා මේ විස්තරය පටලවා ගත්තේ දැයි කිව නොහැකි ය. එසේ ම මහාවංසයේ මේ කොටස රචනා කළේ ද උඩරට භික්ෂුවක් ය යන්න අප අමතක නොකළ යුතු ය.   

No comments:

Post a Comment