Wednesday, November 26, 2014

වළගම්බා රාජ්‍ය සමය දේශපාලනය හා ආගමික අංශය අතර සහජීවනය බිදිගිය අවධියක් ද?



(මහවංසයේ හා මහවංස අටුවාවේ තොරතුරු ආශ්‍රීතව කෙරෙන විග්‍රහයකි.)
සද්ධාතිස්ස රජුගේ අභාවයෙන් පසු භික්ෂුන් වහන්සේලාගේ උපදෙස් මත  ඇමතිවරුන් විසින්  ථුල්ලත්තන කුමරු නව රජු වශයෙන් පත්කරනු ලැබුවේ ය. අනුරාධපුර රාජධානි සමයේ  ප්‍රථම වතාවට දේශපාලන කාර්යයකට භික්ෂූන් වහන්සේ සෘජුව මැදිහත් වන්නේ මෙහිදී ය. ලිඛීත ව්‍යවස්ථාවක් නොවුණත්  මෙය ව්‍යවස්ථාවක් වශයෙන් පැවති “පෙර සිරිත” උල්ලංඝණය කිරිමකි. සමහර විට වැඩිමහල් කුමරු වූ ලඤ්ජිතිස්ස කෙරෙහි භික්ෂූන් වහන්සේ තුළ අවිස්වාසයක් වූ නිසා මෙසේ කලා විය හැකි ය. සිංහාසනයට උරුමකම් කී  ලඤ්ජිතිස්ස කුමරු පැමිණ ( මාසයකුත් දින නමයකට පසු) ථුල්ලත්තන නෙරපා අනුරාධපුර රාජ්‍ය තමන් සතු කර ගත්තේ ය. මෙතැන් සිට වසර තුනක් යන තෙක්  රාජ්‍ය පාලනය හා භික්ෂූ සමාජය අතර තිබු සුහදශීලි බව  යටපත් වූ අවධියක් විය. නමුත් රජු  බෞද්ධ ආගමික වතාවත් අතහැරියේ ද නැත. දානය පිළිගන්වන විට  වැඩිමහළු පිළිවෙලට නොව කුඩා සාමණේරයන් වහන්සේගේ සිට දන් පිළිගැන්වීය. ඒ පිළිබද විමසු විට රජුගේ පිලිතුර වූයේ තමන් පෙර සිරිත හොදහැටි දන්නා නමුත්  භික්ෂූන් වහන්සේලා  ඛුද්ධ පටිපාටිය නොදන්නා බවයි. පසු කලෙක මේ ගැටළුව විසදුන නමුත් ඇති වූ නොහොද නෝක්කාඩුව අවසන් වුණා යැයි සිතිය නොහැකි ය.
ලඤ්ජිතිස්සගෙන් පසු ඛල්ලාටනාග බලයට පත් වේ.මහවංස අටුවාවට අනුව (වංසත්ථපකාසිනි) එම අවධියේ සිදුවන  සිද්ධින් කිහිපයක් පිළීබද අවධානය යොමු කරන විට ඉහත කරුණ සනාථ කිරිමට යම් පිටුබලයක් ලබා ගත හැකි ය. ඛල්ලාටනාග රජුගේ ඤාති සොහොයුරියක වූ සුමනා නම් කුමරියගේ ( ද්වේමාතිකභගිනි) පුතුන් තිදෙනෙක් වූ තිස්ස, අභය, උත්තර යන අය රජු මාලිගයේදී ම මරා රාජ්‍ය පැහැර ගැනීමට කුමන්තුණයක් දියත් කළේ ය. එය අසාර්ථක වූ විට  එම තිදෙනා පැන ගොස්  “ගිරි” නම් නිගණ්ඨාරාමයේ දී  ගින්නට පැන සිය දිවි හානි කරගත් බවත් ඔවුන්ගේ ඤාතින් විසින් එම ස්ථානයේචේතියක් කරවූ බවත් මහ වංසයේ සදහන් වේ.(අග්නි පවිසක චේති) නියම රජ පෙළපත තිබිය දී  අන් පෙළපතක කුමාරවරු රාජ්‍ය බලය අල්ලා ගැනීමට  පෙළඹුණේ කවර හේතුවක් නිසා ද? හැරත් මේ කුමාරවරු සිය දිවි හානි කරගත් ස්ථානය නිගණ්ඨාරාමයක් වූයේ මන්ද ?  යන කරුණු පිළිබද සලකන විට භික්ෂූන් වහන්සේ ථුල්ලත්තන රජ කරවීමට පෙළඹවීම හා  මේ සිද්ධීන් අතර යම්සම්බන්ධයක් ඇති බව සිතීමට පුළුවන. මේ නිගණ්ඨාරාමය පණ්ඩුකාභය අවධියේ සිට පැවත  එන්නකි. අනුරාධපුර රජවරු අනුගමනය කළ ආගමික ප්‍රතිපත්තිය කෙරෙහි යම් ආකාරයක කලකිරිමකින් පසු වූ සෙසු ආගමික කොටස් අවස්ථාවක් ලද හොත් තමන්ට පක්ෂපාති කුමාරවරු බලයට පත් කර ගැනීමේ සූදානමකින් සිටි බව මෙයින් පැහැදිලි වේ.
 මේ අතර ඛල්ලාටනාග රජු දේශපාලන කුමන්ත්‍රණයකට ද හසුවේ.  එනම් මහරත්ථක (මහරට්ඨක - දීපවංසය) නම් සෙනෙවියෙකු විසින් රජු මාලිගයේ දී ම මරා රජකම පැහැර ගනු ලැබී ය. එහෙත් වැඩි දවසක් ඔහුට රජකම් කිරිමට නොලැබුණි. ( දින නමයයි) ඛල්ලාටනාග රජුගේ බාල සොහොයුරු අභය (වට්ඨගාමිණි අභය)  මහරත්ථක මරා රාජ්‍ය බලය අත්පත් කර ගත්තේ ය. නමුත් එයින් ද ඇතිවේගන ආ දේශපාලන අවුල් සහගත තත්ත්වය අවසන් වූයේ නැත. වළගම්බා රජුට ආරම්භයේ දී ම ප්‍රබල අභියෝග දෙකකට මුහුණ දීමට සිදු විය. පළමුවැන්න රෝහණ දේශයේ බ්‍රාහ්මණ තීය නම් බමුණෙකු විසින් ඇති කළ කැරැල්ලයි. මේ කැරලි නායකයා  බ්‍රාහ්මණයෙකු  ලෙස සදහන් වීම වැදගත් ය.  තනි පුද්ගලයෙකුට කැරැල්ලක් ගැසීම පහසු කටයුත්තක් නොවේ. ඔහුට වෙනත් බමුණන්ගේ සහාය ලැබෙන්නට ඇත.එසේ ම අනුරාධපුර රාජ්‍ය පෙලපතේ කටයුතු නොරිස්සු  පිරිස්වල සහාය ද ලැබෙන්නට ඇත. තව ද ඉතා පහසුවෙන් තීය බමුණාට පිරිසක් එකතු කරගැනීමට හැකි වූයේ  අනුරාධපුර රාජධානියේ රජවරුන්ගේ  ආගමික පුතිපත්තිය සම්බන්ධයෙන් යම් මතයක් ගොඩනගා ගැනීමට හැකි වූ නිසා යැයි ද සිතිය හැකි ය. යමෙකු පොළඹවා ගැනීමට යොදා ගත හැකි ප්‍රබල අවියක් වන්නේ ආගමික මතිමතාන්තරයි.  බ්‍රාහ්මණ තීය හා ඔහුට සහාය දුන් පිරිස්වලට ද මේ අවිය ලැබුණා විය හැකි ය.
වළගම්බා රජුට මුහුණ දීමට සිදු වූ අනෙක්  අභියෝගය වුයේ මේ එක ම වකවානුවේ ම  දෙමළ ආක්‍රමණිකයන් හත් දෙනෙකු මහාතිත්ථ වරායට ගොඩ බැසීමයි. මේ වේලාවේ රජු සිය රාජ්‍ය උපාය ඤානය ප්‍රයෝජනයට ගනියි. ඒ අනුව රජු තිය බ්‍රාහ්මණයාට දැනුම් දුන්නේ  රාජ්‍ය අවශ්‍ය නම් දෙමළ ආක්‍රමණිකයන් පරාජය කර ලබා ගන්නා ලෙසයි. එයට එකග වූ බ්‍රාහ්මණ තීය ආක්‍රමණිකයන් සමග සටනට ගොස් මරණයට පත්විය. එවැනි දේකට එකග වීම තුළින් පැහැදිලි වන්නේ ඔහුට එතරම් බුද්ධීයක් නොතිබු එමෙන් ම යමෙකු විසින් පොළඹවනු ලැබු මෝඩ චරිතයක් බව නොවේ ද? ද්‍රවිඩ ආක්‍රමණිකයන් වුවත් එක අරමුණක සිටි පිරිසක් යැයි සිතිය නොහැකි ය. ඔවුන් ලංකාවේ එවක  පැවැති තත්ත්වය තේරුම් ගෙන ඒ අනුව ක්‍රියා කළ පිරිසක් යැයි සිතිය හැකි ය. ඒ වන විට සංවිධානය වු ඕනෑම කණ්ඩායමකට බලය ලබා ගත හැකි තරම් දුබල තත්ත්වයක ලංකාවේ දේශපාලන වාතාවරණය සැකසී තිබු බව පෙනේ. ආක්‍රමණිකයන් හත් දෙනාගෙන් එක් අයෙකු රජුගේ එක් බිසවක් රැගෙන පලා යාම හා තවත් අයෙකු පාත්‍ර ධාතුව රැ‍ගෙන පලා යාමෙන් ඉහත කරුණ පැහැදිලි වේ.
වංසකතාව  මේ අවධියේ රටේ පැවැති දුර්භික්ෂයක් පිළීබදව ද කරුණු අනාවරණය කරයි. මෙය තීය බමුණාගේ කැරැල්ල නිසා ඇති වූවක් ද යන්න  පැහැදිලි නැතත් නම දී ඇත්තේ “ බැමිනිතියා සාය” වශයෙනි. දේශපාලන වියවුල් සහගත තත්ත්වයට සමගාමිව සාගතයක් ඇතිවීම පිළීබද සලකන විට, මේ වන විටත් රටේ ඒකාබද්ධ  ආර්ථික ක්‍රමයක් නොතිබුනා යැයි සිතිය හැකි ය. කෘෂි කටයුතු පිළිබද වරින් වර සදහන්වුවත් මහා පරිමාණ වාරි කර්මාන්ත පිළිබද මේ අවධියේ අසන්නට නොලැබේ. දේශපාලනය අවුල් විම ආර්ථිකය දුබල වීමට හේතු වූ බව සෑම කල්හි ම දක්නට ලැබෙන කරුණකි.
ද්‍රවිඩ ආක්‍රමණිකයන්ට පරාජය වූ වළගම්බා රජු රට මැද කදුකරයේ සැග වී සේනා සංවිධානය කළේ ය. රජු තම පරපුරෙන් පැවත එන රෝහණයට පලා නොගොස්  මලය රටේ සැගවුණු ජිවිතයක් ගත කළේ කුමක් නිසාදැයි ප්‍රශ්නයකි. සමහර විට බ්‍රාහ්මණ තීය රෝහණයේ සිට කැරැල්ල මෙහෙය වූ නිසා විය හැකි ය.එහෙත් වසර 14 ක් ම  රෝහණයට නොයාමට වෙනත් හේතුවක් ද තිබෙන්නට ඇත. මේ කාලය තුළ රජුගේ ක්‍රියාකලාපය පිළිබද සලකන විට ඔහු බුද්ධිමත් ව ක්‍රියා කළ අයෙකු නොවන බව පෙනේ. ඔහුට සහාය දුන් රණසීව නම් ප්‍රදේශාධිපතියෙක් හා කපිසීස නම් ඇමතිවරයා මරා දැමීමෙන් එය පැහැදිලි වේ.   රජු  දිඹුලාගල විහාරයේ චාරිකාවක යෙදි සිටි අවස්ථාවක සිය බිරිදගේ මාර්ගය අවහිර කළ කපිසීස ඇමතිවරයාගේ හිස එසැණින්ම ගසා දැම්මේ ය. කෙසේ නමුත් රජු වනගත ව සිටි කාලයේ දී මහතිස්ස නම් භික්ෂුවක් රජුට උදව් කළ බව සදහන් වේ. රජු ඇමතිවරු හා ගැටුම් ඇතිකර ගත් අවස්ථාවල දී පවා මැදිහත් වී  ඒවා සමනය කිරිමට එම භික්ෂූව සහාය වී ඇත. අවසානයේ වසර 14 කට පසු අවසන් ආක්‍රමණිකයා පරාජය කර  වළගම්බා රජු යළි රාජ්‍ය ලබා ගත්තේ ය.
වළගම්බා රජුගේ දෙවැනි රාජ්‍ය කාලය  දේශපාලන වශයෙන් සාමකාමි වුව ද  ආගමික වශයෙන් නම් එසේ නොවී ය. රජු පැරද පලා යන අවස්ථාවේ දී යාමට සිදු වුයේ පෙර සදහන් කළ ගිරි නිගණ්ඨාරාමය අසලින් ය.මෙය ජෛන පූජකවරුන්ගේ මධ්‍යස්ථානයක් වූවා පමණක් නොව සමකාලීන දේශපාලනය පිළිබදව ද මධ්‍යස්ථානයක් වූ බව පෙනේ.  ඛල්ලාටනාග රජුට එරෙහිව කුමන්ත්‍රණය කළ කුමාරවරු මෙම ස්ථානයේ දී සියදිවි නසා ගැනීමත්, වලගම්බා රජු පැරද පලා යන විට එහි සිටි පූජකයා “ මහා කාලො සීහලො පලායාති” යනුවෙන් ප්‍රකාශ කිරිමෙනුත් එය මනාව පැහැදිලි වේ. මේ ප්‍රකාශයෙන් එක් කරුණක් පැහැදිලිය. එනම් මෙහි සිටි පූජකයා සිංහලයෙකු නොවන බවයි. මේ පූජකයාට රජුගේ පලායාම ප්‍රීතියක් ගෙන දෙන්නට හේතු වූයේ ඔහු රජුට එරෙහිව මුල සිට ම ක්‍රියා කළ අයෙකු නිසා යැයි සිතිය හැකි ය.
රජතුමා තමන් විපතට පත්ව සිටි අවධියේ උපකාර කළ මහාතිස්ස හිමියන්ට ආරාමයක් ඉදිකර දීමට පියවර ගත්තේ ය.  තමන්ට අපහාස කළ පූජකයා වාසය කළ ගිරි නිගණ්ඨාරාමය විනාශ කර එම ස්ථානයේ අභයගිරි විහාරය ඉදි කළේ ය  නමුත් මෙය රජුගේ  නවතම නිර්මාණයක් නොවන බවට ද තොරතුරු ලැබේ එනම් මේ ස්ථානයේ ස්ථූපයක් පැවැති බවත් (අග්ගිපවිසක චේතිය - කුමාරවරු ගින්නට පැන සියදිවි හානි කරගත් ස්ථානයේ ඉදිකළ චේතිය) වළගම්බා රජු මෙය විශාල කර අභයගිරි විහාරය ඉදිකරන්නට ඇත. ගිරි නිගණ්ඨාරාමය විනාශ කිරිම අර්බුදයකට හේතු නොවුනත්  අභයගිරි විහාරය පූජා කිරිම රජු බරපතල අර්බුදයකට ඇද දැමිය. කේතකී පත්‍රයක ( වැටකෙයියා) ලියා පෞද්ගලික පූජාවක් ලෙස තම මිත්‍ර හිමියන්ට පූජාකිරිම ථරවාදි සම්ප්‍රදාය පිළිගත් පෙර සිරිත  කඩකිරිමකි. “ අගත අනගත චතුදිස සගස දිනේ”  යන සිරිත කඩකිරිමකි.  මහාතිස්ස හිමියන් (කුප්පික්කලතිස්ස) එම ආරාමය පිළිගැනීම විනය විරෝධි ක්‍රියාවක් නොවුණත්  සම්ප්‍රදාය කඩකිරිමකි. මහාවිහාරීය භික්ෂූන් මෙයට අප්‍රසාදය පල කළහ. හැරත් මහාතිස්ස හිමියන්ට කුලසංසට්ඨ චෝදනාවක් ද එල්ල වී තිබුණි.පසුව චෝදනාව ඔප්පු වීම නිසා පබ්බාජනීය කර්මය කළ යුතු යැයි තීරණය විය.ඒ අතර එම හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂුවක් වු බහලමස්සු තිස්ස (රැවුල වවාගත් තිස්ස) නම් භික්ෂුව තම ගුරුවරයාට පබ්බාජනීය කර්මය නොකරන ලෙස කෝපයෙන් කෑ ගැසූ බවත් ඔහුට සහායට තවත් පිරිසක් සිටි බවත් සදහන් වේ. නමුත් මහවිහාරීය භික්ෂූන්ගේ තීරණය වෙනස් නොවී ය.මෙයින් පසු බහලමස්සු තිස්ස ඇතුළු 500 ක් පමණ භික්ෂුන් මහවිහාරය අතහැර අභයගිරි විහාරයට ගොස් පදිංචි විය. මේ සිද්ධිය ලංකා ශාසන ඉතිහාසයේ  සංධිස්ථානයක් බව ඒ අවධියේ දී ම පිළිගැණුනු බව මහ වංසය එය දින වකවානු සහිතව සටහන් කිරිමෙන් පැහැදිලි වේ.
(පසු කලෙක දකුණු ඉන්දියාවෙන් ආ  ධර්මරුචික නම් ආචාර්යවරයෙකු  අභයගිරියේ ඉගැන්වීම් කළ නිසා අභයගිරි නිකාය ධර්මරුචික නිකාය ලෙස ප්‍රසිද්ධ විය. ) වළගම්බා රාජ්‍ය සමයේ  සිදු වු අනෙක් සිද්ධිය නම්  ත්‍රිපිටක සංගායනාවක් සිදු කිරිමයි. රජුගේ අනුග්‍රහය මේ සදහා ලැබුණු බවක් නොපෙනේ. මාතලේ ප්‍රදේශයේ ප්‍රදේශාධිපතියෙකුගේ සහායෙන් මහාවිහාරීය භික්ෂූන් වහන්සේලා මෙම කටයුත්ත සිදු කළහ.ඇති වූ වියවුල් සහගත තත්ත්වය හමුවේ බුද්ධශාසනයේ ඉදිරි පැවැත්ම පිළිබද ගැඹුරින් කල්පනා කළ උන් වහන්සේලා  ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරිමේ කාර්යයට උනන්දු වූ බව පෙනේ. මේ තරම් වැදගත් කටයුත්තකට රාජ්‍ය අනුග්‍රහය නොලැබුණේ ඇයිදැයි සිතා බැලිය යුතු ය. “අභයගිරි පූජාව” ප්‍රශ්නයේ දී රජු ක්‍රියා කළ ආකාරය පිළිබද  මහාවිහාරීය භික්ෂූන් තුළ නොසතුටක් ඇතිවීම හා තම මිත්‍ර භික්ෂුව නෙරපීම නිසා රජු තුළ ද නොසතුටක් ඇතිවීම මේ දුරස්ථභාවයට හේතු වන්නට ඇත.
මෙනයින් සලකා බලන විට  සද්ධාතිස්ස රජුගේ අභාවයේ සිට වඵගම්බා රජුගේ අභාවය දක්වා කාලය  ලංකාවේ දේශපාලනය හා ආගමික අංශය අතර පැහැදිලි ගැටීමක් තිබූ බව  කිව හැකි ය. මේ ගැටුම්වලට පදනම වූයේ තමන්ට පක්ෂපාති රාජ්‍ය බලයක් ගොඩනගා ගැනීම කෙරෙහි ආගමික කොටස් ක්‍රියාකළ නිසා යැයි කිව හැකි ය. දෙවැනිවර බලයට පත් වී වසර දොළහකට පසුව  සිදුවන වළගම්බා රජුගේ අභාවයෙන් පසු ඛල්ලාටනා‍ගගේ පුත්‍රයා වු මහාචූලික මහාතිස්ස  රාජ්‍යයට පත් වීමත් (වසර 14 ) එයින් පසුව වළගම්බා රජුගේ පුත්‍රයා වූ  සොර දෙටුවෙක් ලෙස ප්‍රසිද්ධියට පත් චෝරනාග රජ වීමත් පිළිබදව ද අවධානය යොමු  කළ යුතුව ඇත.

No comments:

Post a Comment